18/08/2026
ශ්‍රී ලංකාවේ ගුවන්සේවා ක්ෂේත්රයට නව මානයක් – මඟී ඩ්‍රෝන යානා සේවාවක් හඳුන්වාදීමේ හැකියාව පිළිබඳ අවධානය...
ශ්‍රී ලංකාවේ ගුවන්සේවා ක්ෂේත්රය ලෝකයේ නවීන ප්රවණතා සමඟ එක් කරමින්, තාක්ෂණයෙන් සහ නවෝත්පාදනයෙන් ඉදිරියට ගෙන යාම වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ප්රමුඛ අරමුණකි.
ඒ අනුව, දේශීය ගුවන්ගමන් සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මූලික කරගනිමින් මඟී ඩ්‍රෝන යානා (eVTOL) සේවාවක් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. මෙම සාකච්ඡාව අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා, අමාත්‍යාංශ ලේකම් ඩබ්. ඩබ්. එස්. මංගල මහතා,සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල්තුමා ඇතුලු නිලධාරීන් මෙන්ම චීනයේ EHang සමාගමේ නියෝජිත පිරිසක් ද එක්ව සිටියහ.
විදුලි බලයෙන් ක්‍රියාත්මක වන eVTOL යානා සිරස්ව ගුවන්ගත වීමටත්, සිරස්ව ගොඩබැසීමටත් හැකි අතර, මඟීන් දෙදෙනෙකු සඳහා නිර්මාණය කර ඇති මෙම නව තාක්ෂණය AI සහ ස්වයංක්‍රීය පාලන පද්ධති මත පදනම් වේ. සාම්ප්‍රදායික ගුවන් තොටුපළ යටිතල පහසුකම්වලට වඩා අවම ඉඩකඩකින් මෙහෙයුම් සිදුකළ හැකි වීම ද මෙහි විශේෂත්වයකි. වරාය නගරය ආශ්‍රිතව ආදර්ශ මෙහෙයුම් කලාපයක් ඇති කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු විය.
එමෙන්ම, සංචාරක කර්මාන්තයට පමණක් සීමා නොවී හදිසි ආපදා සේවා සහ සමුද්‍රීය ක්ෂේත්රයේ විශේෂ අවශ්‍යතා සඳහා ද මෙම තාක්ෂණය යොදාගැනීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කෙරිණි.
කෙසේ වෙතත්, මෙවැනි සේවාවක් ශ්‍රී ලංකාව තුළ වාණිජ වශයෙන් ක්‍රියාත්මක කිරීමට පෙර ගුවන් ආරක්ෂාව, නියාමන රාමුව, ගුවන් මාර්ග පාලනය, හදිසි මෙහෙයුම්, සයිබර් හා දත්ත ආරක්ෂාව, සන්නිවේදන පද්ධති, ගොඩබැස්සවීම් ස්ථාන සහ මඟී ආරක්ෂාව ඇතුළු සියලු කරුණු සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ විධිමත් අනුමැතිය ලබාගැනීම පිලිබදවද අවධානය යොමුවිය.
අනාගතයේ ගුවන්සේවා ක්ෂේත්රය වෙනස් කරන නව තාක්ෂණයන් අද සිටම හඳුනාගෙන, ඒවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය, සංචාරක කර්මාන්තය සහ ජනතාවගේ අවශ්‍යතා සඳහා ඵලදායී ලෙස යොදාගැනීමට අපි කැපවී සිටිමු.
මාධ්‍ය අංශය
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය