18/06/2026
“දිට්වා” සුළි කුණාටුවෙන් විනාශ වූ අඹේවෙල - නානුඔය අතර දුම්රිය මාර්ග කොටස ප්‍රතිසංස්කරණය කර බදුල්ල සිට නානුඔය දක්වා දුම්රිය ධාවනය ආරම්භ කිරීම..!
“දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් අඹේවෙල - නානුඔය අතර දුම්රිය මාර්ගයේ සැතපුම් 134 දම්වැල් 77 ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අඩි 65ක් පමණ ගැඹුරට, අඩි 100ක් පමණ පළලට සහ අඩි 120ක් පමණ දිගට බෑවුම් සහිතව දැඩි ලෙස හානියට පත්විය.
එම ප්‍රදේශයට ළඟාවීම සඳහා විධිමත් ප්‍රවේශ මාර්ග නොමැති වීම, පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හා අවශ්‍ය යන්ත්‍රෝපකරණ සහ අමුද්‍රව්‍ය දුම්රිය මගින්ම ප්‍රවාහනය කිරීමට සිදුවීම වැනි අභියෝග මධ්‍යයේ, සියලු ප්‍රතිසංස්කරණ කටයුතු NBRI හා එක්ව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සාර්ථකව සිදු කර දුම්රිය ධාවනයට සුදුසු තත්ත්වයට මේ වන විට පත් කර ඇත.
ඒ අනුව මෙතෙක් බදුල්ල සිට අඹේවෙල දක්වා පමණක් ධාවනය කළ දුම්රිය සේවාව, අපේක්ෂා කළ පරිදි උඩරට මාර්ගයේ ආකර්ෂණීය දුම්රිය ස්ථානයක් වන නානුඔය දුම්රිය ස්ථානය දක්වා 2026.06.20 දින සිට පහත පරිදි ධාවනය කිරීමට කටයුතු සැලසුම් කර ඇත.
එහිදී සෑම දුම්රියකම ආසන වෙන් කිරීමේ පහසුකම් සහිත පළමු පන්තියේ (වායු සමනය කළ) හා දෙවන පන්තියේ මැදිරි සහිත වන අතර, https://seatreservation.railway.gov.lk සබැඳිය ඔස්සේ හෝ ආසන වෙන් කිරීමේ පහසුකම් සලසා ඇති දුම්රිය ස්ථාන වෙත පැමිණ මෙම දුම්රියවල ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම් සලසා ඇත.
ගමන් ආරම්භක හෝ ගමනාන්ත දුම්රිය ස්ථානය ලෙස අඹේවෙල දුම්රිය ස්ථානය සඳහන් කර මේ වන විටත් ලබාගෙන ඇති වෙන් කළ ආසන ප්‍රවේශපත්‍ර භාවිතා කර නානුඔය සිට ගමන් ආරම්භ කිරීමට හෝ නානුඔය දුම්රිය ස්ථානයෙන් තම ගමන අවසන් කිරීමට අවසර ඇත.