22/12/2024
පුරාණ ඉතිහාසයක් ඇති ත්‍රිකුණාමලයේ වෙල්ගම් වෙහෙර ☸🙏
ත්‍රිකුණාමලයේ සිට අනුරාධපුර මාර්ගයේ සැකැපුම් 08 ක් පමණ දුරින් පරියකුලම යනුවෙන් හැදින්වෙන ප්‍රදේශයේ ලස්සන බෞද්ධ පන්සලක් ඇති අතර මෙය වෙල්ගම් රජමහා විහාරය යනුවෙන් හදුන්වයි. පන්සල අසල කදු ගැටයේ ඇති භාතිය තිස්ස (ක්‍රි.ව. 143-167) රජුගේ සෙල්ලිපියෙහි සදහන් පරිදි මෙම විහාරයේ පැරණි නාමය වෙල්ගම අබහර විහර නම් විය.
අනුරාධපුර යුඟයේ මුල්ම බෞද්ධ ශ්‍රේෂ්ඨ නරපතියා වු දේවානම්පියතිස්ස රජු විසින් (ක්‍රි.ව.307-267) දෙතිස් ඵලරුක බෝධි අංකුරයක් රෝපණය කරවීමෙන් මෙම විහාරය කරවු බව වංශ කථාවල කියවේ.
ඉන්පසු පලමුවන බාතිය, දෙවන අග්බෝ, පළමුවන විජයබාහු, පළමුවන පරාක්‍රමභාහු වැනි අති ශ්‍රේෂ්ඨ නරපතියන් විසින් වරින් වර මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු කළ බව සෙල්ලිපි සාක්ෂි දරයි.
10 වන සියවස අගභාගයේදි රජරට සොළි පාලනයට යටත්ව පැවැති යුඟයේදි මෙම විහාරය රාජරාජ පෙරුම් පල්ලි ලෙස හදුන්වා ඇත. සොලීන් විසින් බෞද්ධ වෙහෙර විහාර කෘර ලෙස විනාශ කරනු ලැබුවත් සොලීන් ආරක්ෂා කල විහාරයක් වන්නේ මෙම වෙල්ගම් රජමහා විහාරයයි. මෙයට හේතු වි ඇත්තේ වෙල්ගම්බල කොටුවේ දෙමළ බෞද්ධයන් සිටිමයි. විහාරයෙන් හමුවු ක්‍රි.ව. 1022-1057 සමයට අයත් දමිළ සෙල්ලිපි අතුරින් අටකම මෙම විහාරය වෙල්ගම් වේර යනුවෙන් දක්වා ඇති අතර තවත් තැන්හි එය රාජ රාජ පෙරුම් පල්ලි ලෙස
පොලොන්නරු යුගයේ ලක්දිව ශ්‍රේෂ්ධතම විහාරයක් බවට වෙල්ගම් වෙහෙර පත්ව තිබිණි. නමුත් කෝට්ටේ යුගය වන විට රජරට මෙන්ම වෙල්ගමද අලි, කොටි, වලසුන්ගේ ක්ෂේම භූමියක් බවට පත්විය.
අනුරාධපුර පොලොන්නරුව දඹදෙනි රාජ සමයෙහි බොදුනුවන්ගේ මුදුන් මල්කඩ වු වෙල්ගම් රජමහා විහාර සංකිර්ණය හා මනාවතු නුවර අද නටඹුන් වි ඇති අයුරු සංවේගයෙන් ඔබට සියැසින් දැකිය හැක. වෙල්ගම් වෙහෙරේ නටබුන් අතරෙහි පිළිම ගෙයක්, බුදු පිළිම, දාගැබ්, මුරගල්, වේ. තවද මෙහි චෛත්‍ය තුනක නටබුන් හමුවි ඇත. ඉන් විශාලතම දාගැබ චතුරස්රයේත් අනෙක් දෙක කදුවැටිය මතත් පිහිටා ඇත.මේ කදුවැටියේ පිහිටා ඇති දාගැබ් දෙක ඉතාමත් පැරණිය.
පෙරියකුලම් වැවට නුදුරින් දීර්ඝ කාලයක් තිස්සේ වනාන්තරයේ ගිලි තිබු වෙල්ගම් රජමහා විහාර නටඹුන් අවට දමිල ගම්වාසින් විසින් ඊශ්වර දේවාලයක නටඹුන් යැයි සිතා නාතනාර් කෝවිල ලෙස හැදින්වු බව සදහන් වේ. පසුව 1929 දි වෙල්ගම් විහරා නටඹුන් ශ්‍රි ලංකා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් සොයා ගන්නා ලද අතර 1934 දි මෙම ස්ථානය පුරාවිද්‍යා ආරක්ෂිත සංචිතයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදි.
ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අතර තුරදි එල්.ටි.ටි.ඊ බෙදුන්වාදීන් කිහිපවතාවක්ම මෙම විහාරයට ප්‍රහාර එල්ල කර ඇති අතර දැනට වෙල්ගම් රජමහා විහාරය නැවත ගොඩනැගීමට ගරු විහාරාධිපති හිමියන් අප්‍රමාණව වෙහෙසයි.